2023 ජනවාරි 22 වන ඉරිදා

පෝර් ට් සිටියට බදු සහන නැතිව කෝටි 180ක ආයෝජන නවතී

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 46

දේශපාලන වාර්තාකරු I

කොළඹ පෝර්ට් සිටි (වරාය නගර) ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය සඳහා කැමැත්ත පළ කළ ආයෝජකයන්ට බදු සහන ලබා දීමට නොහැකිවීම නිසා අමෙරිකානු ඩොලර් කෝටි 180ක පමණ ආයෝජන අහිමිවීමේ තත්ත්වයක් හටගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා පෝර්ට් සිටිය තුළ ජාත්‍යන්තර රෝහලක්, ජාත්‍යන්තර පාසලක්, මුල්‍ය මධ්‍යස්ථාන ආයෝජන රැසක්, සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ගණනාවක් සඳහා මුදල් ආයෝජනය කිරීමට අපේක්ෂා කළ ජාත්‍යන්තර ආයෝජකයන් වෙනත් රටවල් කරා යොමුවීමේ ප්‍රවණතාවක් පවතින බවද දැනගන්නට තිබේ. සිංගප්පූරුව, ඩුබායි, වියට්නාමය ආදී රටවල් මෙවන් ආයෝජනයන්ට බදු සහන පිරිනමන බැවින් මෙරට ආයෝජන අවස්ථා අහිමිවන ආයෝජකයන් එම රටවල් කරා යොමුවීමට ඉඩ ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට නව රුකියා අවස්ථා උදාවන අතර ඔවුනට ඩොලර්වලින් වැටුප් ලබාගැනීමේ වරමද හිමිවෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය විධිමත් කිරීමට නම් බදු සහන දැඩි ලෙස සීමා කළ යුතු බවට කර ඇති අවවාදය නිසා පෝර්ට් සිටි ආයෝජනවලට බදු සහන සැලසීමට නොහැකි වී ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත.