2023 ජනවාරි 29 වන ඉරිදා

බිත්තරේට රුපියල් 50ක් ඕනෑ: නිෂ්පාදකයෝ කියති

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 59

යසවර්ධන රුද්රිගූ I

රජයේ පාලන මිලට කිසිසේත්ම බිත්තර අලෙවි කළ නොහැකි අතර බිත්තරයක සිල්ලර මිල රුපියල් 50/- ක් විය යුතු බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක දේශය පුවත්පතට පැවසීය. තමා මේ පිළිබඳ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුට ලිඛිතව දන්වා ඇතැයි ඔහු කියයි.

පසුගියදා සංගමය මගින් බිත්තර ලක්ෂ 8ක් පමණ රුපියල් 53/- බැගින් ආර්ථික මධ්‍යස්ථානවලට සහ පාරිභෝගිකයන්ට බෙදා හැරි අතර මේ වනවිට කුකුළු ආහාරවල මිල අඩු වී නිෂ්පාදන මිල පහළ ගොස් ඇති නිසා බිත්තරයක් රුපියල් 50/- බැගින් සිල්ලරට අලෙවි කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. තම සංගමය රුපියල් 50/- ක සිල්ලර මිලට අලෙවි කළ හැකිවන සේ එයට අඩු මිලකට වෙළෙඳුන් බිත්තර සපයන බවද හේ කියයි. එහෙත් රජයේ ප්‍රකාශිත උපරිම සිල්ලර මිලට බිත්තර අලෙවි කළ නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ප්‍රකාශ කළේ රුපියල් 44/- ට හා රුපියල් 46/- ට පනවා ඇති උපරිම සිල්ලර මිල සීමාව කිසි විටෙකත් වෙනස් නොකරන අතර වැටලීම් වේගවත් කර ඇති බවය. ලබන සතියේ සිට ඊට අදාළව නඩු පවරන බවද ඔහු පැවසීය. මේ වනවිට දිවයින පුරා 100කට ආසන්න වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇතැයි ඔහු කියයි.