2023 පෙබරවාරි 05 වන ඉරිදා

සාකච්ඡාවට අවුරුද්දයි: IMF දොර තාම වහලා

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 135

දේශපාලන වාර්තාකරු I

මෙවර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනට ශ්‍රී ලංකාව සම්බන්ධ වී දැනට සති 46ක් ගත වී තිබේ. ලබන මාර්තු මස 18දාට සති 52ක් හෙවත් වසරක් සම්පූර්ණ වෙයි.

ඒ කාලය තුළ මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට යෝජනා කළ සියලුම කොන්දේසි මේ වනවිට සපුරා ඇතත් යෝජිත ණය මුදලේ පළමු වාරිකය හෝ නිදහස් කර නැත.

බැංකු පොලිය ඉහළ නැංවීම, විනිමය අනුපාතය පාකිරීම, සියලුම බදු ඉහළ නැංවීම, පෙට්‍රල්, ඩීසල්, විදුලිය සඳහා වෙළෙඳපොළ මිලට අනුව ගාස්තු සැකසීම, මහ බැංකුව ස්වාධීන කිරීම, රාජ්‍ය සේවය කප්පාදු කිරීම, රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය හා ප්‍රතිව්‍යුහගත කිරීම යන ප්‍රධානම කොන්දේසි සියල්ල ශ්‍රී ලංකාව මේ වනවිට ඉටුකර හමාරය.

ශ්‍රී ලංකාව මෙලෙස කොන්දේසි සපුරා තිබියදීත් ඉන්දියාව, ජපානය හා චීනය යන රටවල් සමඟ ඇති ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීමේ ප්‍රශ්නයක් ඇතැයි පවසමින් ශ්‍රී ලංකාවට ණය සැපයීම ප්‍රමාද කිරීම සාධාරණ නැතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ඉන්දියාව හා ජපානය ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ කාලය දීර්ඝ කර ඇතත් චීනය ඒ සඳහා ලබා දී ඇත්තේ වසර 2ක් පමණි. එම වසර දෙක ප්‍රමාණවත් නැතැයි කියමින් බරපතළ ආර්ථික පීඩනයට පත්ව සිටින ශ්‍රී ලංකාවට මෙතෙක් ණය නිදහස් කර නැත.
මෙවර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ණය ගිවිසුමකට එළඹුණේ 17 වැනි වතාවටය. වෙනත් කිසිදු අවස්ථාවකට වඩා මෙවර ණය ප්‍රමාද වීම පවත්නා ආර්ථික පීඩනය තව තවත් උග්‍ර කිරීමට හේතු වී ඇතැයිද විශ්ලේෂකයෝ වැඩිදුරටත් කියති.