දේශපාලන වාර්තාකරු I
ශ්‍රේෂඨාධිකරණයෙන් අවසර ලැබුණු පරිදි මැතිවරණ කොමිසම විසින් සැලසුම් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා දේශයට පැවසීය.
එසේම ඉදිරියේදී මැතිවරණයට අදාළ නඩු කටයුත්තක් මෙම මස 23 දින විභාගයට ගැනීමට නියමිතව ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසම අවධානයෙන් සිටින බව හෙතෙම සඳහන් කළේය. ඒ අනුව සැලසුම් කර ඇති පරිදි පෙබරවාරි 22,23 සහ 24 යන දිනයන් වලදී තැපැල් ඡන්දය පවත්වනවාද යන්න දේශය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසූවිට ඒ මහතා සඳහන් කර සිටියේ ඡන්දය පැවැත්වීමට එරෙහිව කිසිදු වාරණ නියෝගයක් නොමැති නිසා ඡන්ද විමසීමේ කටයුතු නියමිත පරිදි සිදුකෙරෙනු ඇති බවය.
එසේම මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර මහා භාණ්ඩාගරයෙන් ඉල්ලා ඇති අතර ඒවා නිසි පරිදි ලැබෙනු ඇතැයිද විශ්වාස කරන බව සභාපතිවරයා වැඩිදුරටත් කීය.
එසේම මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දමන ලෙස ඉල්ලා විශ්‍රාමික හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් ගොනුකළ පෙත්සමට අදාළ පෙත්සම් විභාගය ලබන පෙබරවාරි 23 විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා තීරණය කළේය.
එසේම සිකුරාදා (10) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් විසින් ඡන්දය නියමිත පරිදි පවත්වන ලෙසට ඉල්ලා ගොනුකර තිබූ තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලූ අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබුණේ පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට දැනටම මැතිවරණ කොමිසම බාරගෙන ඇති බැවින් ඒ සඳහා නියෝගයක් විශේෂයෙන් අවශ්‍ය නොවන බවය.
මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.තුරෙයිරාජා, ඒ.එම්.එච්.ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරු හමුවේ සිදු කෙරිණි.