2023 පෙබරවාරි 12 වන ඉරිදා

ඡන්දයේ ආරක්ෂාව: ඉල්ලුවා කෝටි 280ක් ලැබුණේ කෝටි 5යි

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:03 109

ආරක්ෂක වාර්තාකරු I

පළාත් පාලන මැතිවරණයට අදාළ පොලිස් රාජකාරි වියදම් සඳහා පොලිසිය විසින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 2800න් (කෝටි 280න්) රුපියල් මිලියන 53 ක් (රුපියල් හත්කෝටි තිස් ලක්ෂයක්) මේ වනවිට නිදහස් කර ඇතැයි වාර්තා වෙයි.

එහෙත් අත්‍යවශ්‍ය වියදම් දැරීමට මෙම අත්තිකාරම් මුදල ප්‍රමාණවත් නොවන බැවින් තවත් මුදල් කොටසක් නිදහස් කරන මෙන් ඉල්ලා සිටීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටි වියදම්වලින් වැඩිම වියදම යෙදී ඇත්තේ කුලී පදනම මත මැතිවරණය සඳහා අවශ්‍ය වාහන ලබා ගැනීමටයි. ඒ සඳහා රුපියල් මිලියන 745 ක් ඉල්ලා ඇත. පොලිස් වාහන සඳහා ඉන්ධන වෙනුවෙන් රුපියල් මිලියන 675ක්ද පොලිස් නිලධාරින්ගේ සංයුක්ත දීමනා නවාතැන් දීමනා, දිරි දීමනා සහ විශේෂ දීමනා වෙනුවෙන් තවත් රුපියල් මිලියන 500ක්ද සපයන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත. ඉතිරි මුදල් ඉල්ලා ඇත්තේ සෙසු අතිරේක වියදම් වෙනුවෙනි.

එහෙත් මේ වනවිට මැතිවරණ කොමිසම නිදහස් කර ඇත්තේ පොලිස් වාහන සඳහා ඉන්ධන ලබාගැනීමට රුපියල් මිලියන 20ක්, ලිපිද්‍රව්‍ය වියදම් සඳහා රුපියල් මිලියන 3ක් හා සුබසාධන කටයුතු සඳහා රුපියල් මිලියන 30ක් පමණි. මෙහි සමස්ත එකතුව රුපියල් මිලියන 53 කි.