කටුනායක ටී.කේ.ජී. කපිල I
පවත්නා අර්බුදකාරී ආර්ථික තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ ඇතුළු ගුවන් තොටුපළවල සේවය කරන ගුවන් ගමන් පාලකවරුන් සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් සිය රැකියා අතහැර යමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව දැනට රට තුළ ඇති ගුවන් තොටුපළවල සේවය කළ යුතු ගුවන් ගමන් පාලකවරුන් 56 දෙනකුගේ හිඟයක් ඇති බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා ප්‍රකාශ කළේය. සැබැවින්ම මෙරට ගුවන් සේවාව සඳහා අවම වශයෙන් ගුවන් ගමන් පාලකවරුන් 138 ක් අවශ්‍ය නමුත් දැනට සේවයේ ඇත්තේ ගුවන් ගමන් පාලකවරුන් 82 ක් බව ඔහු සඳහන් කළේය.
ඉදිරි කාලයේදී පුරප්පාඩු සඳහා විද්‍යාවේදී උපාධිධරයන් 25 දෙනකු අලුතින් බඳවා ගැනෙන අතර ඔවුන් වෘත්තීය ප්‍රවීණතාව ලැබීමට වසර 10 ක් පමණ ගතවන බවද සභාපතිවරයා කීය.
ගුවන් ගමන් පාලකවරුනට අමතරව ශ්‍රීලංකන් ගුවන් නියමුවෝද විශාල ලෙස සේවයෙන් ඉවත් වෙමින් සිටිති. මේ වනවිට ශ්‍රීලංකන් සේවයේ සිටිය යුතු ගුවන් නියමුවන් 250න් 44 දෙනෙක් රැකියාවලින් ඉවත්ව විදේශ ගුවන් සේවා සඳහා සේවයට ගොස් සිටිති.
මේ නිසා ගුවන් ගමන් පාලකවරුනට හා නියමුවන්ට ජාත්‍යන්තරයේ ගෙවන වැටුප් හා දීමනා නොලැබුණහොත් මෙම සේවා අකර්මණ්‍ය වීමේ අනතුරක් ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග කියයි.