ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එදා විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට එය පිළිගන්නා බව ප්‍රකාශ කර ඇති අතර අරගලයට සම්බන්ධ වූ උගත් තරුණ පිරිස පවා ෆෙඩරල් ක්‍රමයකට විරුද්ධ නොමැති හෙයින් අනාගතයේ සිංහල ජනතාවගේ කැමැත්ත ඇතිව ෆෙඩරල් පාලනයක් ලබාගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව තමිල් මක්කල් කුට්ටනි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේස්වරන් මහතා දේශයට ප්‍රකාශ කළේය.
එක්සත් භාවයෙන් තම තමන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමට හොඳම ක්‍රමය ෆෙඩරල් ක්‍රමය වන අතර මේ වන විට මෙරට තරුණ පිරිසගේ ආකල්ප වෙනස් වී තිබේ. වර්තමානයේ පවතින්නේ බලය සම්පූර්ණයෙන්ම සිංහල දේශපාලකයන් අත තබාගැනීමේ ක්‍රියාවලියක් වන අතර සුළු ජාතීන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ඔවුහු මැළි බවක් දක්වති. දෙමළ ජනතාව ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටින්නේ එක්සත් රාජ්‍යයක් තුළ බලය බෙදාගැනීමට හා තම පළාතේ සංවර්ධන කටයුතු තමන්ට කර ගැනීමේ අපේක්ෂාවෙනි.
ෆෙඩරල් ක්‍රමයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතු අතර ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු යැයි පැවසූ ඔහු රටේ පවතින ආර්ථික දේශපාලනික වාතාවරණය යටතේ අනාගතය කෙබඳු මුහුණුවරක් ගනීද යන්න පිළිබඳව විමසා බලා ෆෙඩරල් ක්‍රමයක් ලබාගැනීම සඳහා කටයුතු කළ යුතු යැයි පැවසීය.
ඉඩම් සහ පොලිස් බලතල දෙමළ ජනතාව ඉල්ලා සිටි දෙයක් නොවන අතර එය 13 වැනි ව්‍යස්ථා සංශෝධනයට ඇතුළත් කර තිබෙන්නක් බවද, පැවැති ආණ්ඩු එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසා නුදුන් බවද ඔහු කියා සිටියේය. ෆෙඩරල් ක්‍රමයක් සඳහා අනාගතයේ ඉන්දියාවේ සහය හිමිවනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු පැවසුවේය.