2023 පෙබරවාරි 19 වන ඉරිදා

සල්ලි අච්චු ගැසීම නැවැත්වුවොත් පොලිය තව නගීවි

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:01 235

ව්‍යාපාරික වාර්තාකරු I

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි අලුතෙන් මුදල් මුද්‍රණය කිරීම අත්හිටවුවහොත් පොලී අනුපාත තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ මත පළ කරති. මෙතෙක් සාමාන්‍යයෙන් සිදුවූයේ මහා භාණ්ඩාගාර මුල්‍ය අවශ්‍යතා අනුව මහ බැංකුව අවශ්‍ය මුදල් මුද්‍රණය කොට සැපයීමයි. එය අත්හිටවුවහොත් විකල්ප මාර්ගවලින් මුදල් සපයා ගැනීමට මහා භාණ්ඩාගාරයට සිදුවෙයි

රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන ප්‍රමාණයට මුදල් මුද්‍රණය කිරීමේ බලය මහ බැංකුවට පැවරෙන නව නීතියට අදාළව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය විශේෂ තීරණයක් ද ගනු ලැබීය. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා කැබිනට්ටුවට ඉදිරිපත් කර තිබිණි.

මෙම තීරණයත් සමඟ මුදල් අමාත්‍යංශයෙන් ආණ්ඩුව කොතරම් ඉල්ලීම් ඉදිරිපත් කළද මහ බැංකුවට එම මුදල් මුද්‍රණය නොකර සිටීමට අධිකාරි බලයක් හිමි වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය විධිමත් කිරීම සඳහා ලබාදුන් නිර්දේශයක් අනුව නව විධිවිධානය පනවා තිබේ.