2023 පෙබරවාරි 19 වන ඉරිදා

ලයිට් බිල වැඩිවෙන හැටි මෙන්න

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 58

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

ලංකා විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් බිලියන 287ක අමතර ආදායමක් උපයා ගැනීමේ අරමුණින් පෙබරවාරි 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලිය ගාස්තුව යළි ඉහළ දැමීය.

මේ නිසා විදුලිය ඒකක 90ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන්ගේ විදුලිය බිල 250%කින් පමණ ඉහළ ගොස් ඇත. එහෙත් කර්මාන්ත අංශය හා පොදු කාර්යය, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා ගාස්තු ඉහළ ගොස් ඇත්තේ සුළු ප්‍රතිශතයකිනි.

නව ගාස්තු සංශෝධනය අනුව ගෘහස්ථ කාණ්ඩයේ මිලියන 1.5ක් පරිභෝජනය කරන ඒකක 0-30 දක්වා ඒකකයකට රුපියල් 8ක් වන ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ යනු ඇත. පාරිභෝගිකයන් මිලියන 1. 55 පරිභෝජනය කරන ඒකක 31- 60 දක්වා වූ කාණ්ඩයේ ඒකකයකට රුපියල් 10ක්ව පැවති ගාස්තුව රුපියල් 37 දක්වාද, පාරිභෝගිකයන්  මිලියන 1.4ක් පරිභෝජනය කරන ඒකක 61 - 90 කාණ්ඩයේ ඒකකයකට රුපියල් 16ක් වූ ගාස්තුව ඒකකයක් රුපියල් 42 දක්වාද ඉහළ යනු ඇත .පාරිභෝගිකයන් 745,000ක් පරිභෝජනය කරන  ඒකක 91- 120 දක්වා හා පාර්භෝගිකයන්  529,000ක් පරිභෝජනය කරන ඒකක 121 -180 දක්වා ඒකකයයට අයකළ රුපියල් 50 ගාස්තුවද පාරිභෝගිකයන්  211,000ක් පරිභෝජනය කරන ඒකක 181ට වැඩි කාණ්ඩයට ඒකකයකට අයකළ රුපියල් 75 ගාස්තුවද වෙනස් වී නොමැත.

මුල් ඒකක 30 සඳහා වූ ස්ථාවර ගාස්තුව රුපියල් 120 සිට රුපියල් 400 දක්වාද, 31 සිට 60 දක්වා රුපියල් 240ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාද, 61 - 90 දක්වා රුපියල් 360ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාද, 91 - 180 දක්වා වූ රුපියල් 960 ස්ථාවර ගාස්තුව රුපියල් 1500 දක්වාද, 181ට වැඩි ඒකක ප්‍රමාණයක් සඳහා වූ රුපියල් 1500 ස්ථාවර ගාස්තුව රුපියල් 2000 දක්වා ද ඉහළ නංවා තිබේ.

ආගමික ස්ථාන හා පුණ්‍යාතන සඳහා ඒකක 0-30 දක්වා ඒකකයකට රුපියල් 8ක් වූ වත්මන් ගාස්තුව රුපියල් 30 දක්වාද 31 - 90 දක්වා ඒකකයකට රුපියල් 15ක ගාස්තුව රුපියල් 37 දක්වාද, ඒකකයකට රුපියල් 20ක් වූ 91 - 120 කාණ්ඩයේ ඒකකයක් රුපියල් 42 දක්වාද, ඒකක 120 – 180 අතර කාණ්ඩයේ ඒකකයකට රුපියල් 30ක ගාස්තුව රුපියල් 45 දක්වාද, ඒකකයකට රුපියල් 32ක් වූ 180ට වැඩි කාණ්ඩයේ ඒකකයක් රුපියල් 50 දක්වා ද ඉහළ යනු ඇත.

කර්මාන්ත අංශය සඳහා ඒකකයකට අය කළ රුපියල් 20 ගාස්තුව රුපියල් 26 දක්වා වැඩි කර තිබේ. පොදු කාර්යය, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා ඒකක 180 දක්වා වූ රුපියල් 25ක ගාස්තුව රුපියල් 40 දක්වාද, ඒකකයකට රුපියල් 32ක් වූ ගාස්තුව 180ට වැඩි කාණ්ඩයේ ඒකකයක් රුපියල් 47ක් දක්වා ද ඉහළ දමා තිබේ.