2023 පෙබරවාරි 19 වන ඉරිදා

බදු තීන්දුව වෙනස් නොකළොත් අඛණ්ඩ අරගලයක්

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 41

චමිඳු නිසල් ද සිල්වා I

රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ට පනවා ඇති උපයන විට ගෙවීමේ බද්ද සම්බන්ධව රජය ඉදිරි සතිය වන විට ප්‍රතිපත්තිමය තීන්දුවකට නොපැමිණියහොත් අඛණ්ඩ වෘත්තීය සමිති අරගලයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දේශයට පැවසීය.

පවත්නා අර්බුදයට රජයෙන් විසඳුමක් නොලැබුණහොත් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඉදිරි සතියේ ගත යුතු වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ මේ වන විටත් සාකච්ඡා කොට ඇතැයි වෛද්‍ය විජේසිංහ මහතා කීය. විධායක නිලධාරීන්ගේ වෘත්තීය සමිතිවලට අමතරව තවත් රාජ්‍ය සේවක වෘත්තීය සමිති සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් සඳහා සාකච්ඡා කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ ද බදු ගැටලුවට ඔහු සතුව පිළිතුරක් නොමැති බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දේශයට කීය. ජනාධිපතිවරයාගෙන් ඍජු සාකච්ඡාවක් ඉල්ලා පෙබරවාරි පළමුවැනිදා යොමු කළ ලිපියට නැවත සිහි කැඳවීමේ ලිපියක් යොමු කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔහු වැඩිදුරටත් කීය. කෙසේ වෙතත් වෘත්තීයවේදීන් ලෙස සිය ගැටලු වෘත්තීයමය ආකාරයට විසදා ගැනීමේ අපේක්ෂාව තවදුරටත් අතහැර නැතැයි ඔහු පැවසීය.