ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
පසුගිය අගෝස්තුවේ විදුලි බිල වැඩිවීමෙන් තේ කර්මාන්තයේ පිරිවැය සියයට සියයකින් ඉහළ ගොස් ඇතැයි තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා දේශයට සඳහන් කළේය.
ඒ අනුව අගෝස්තු මාසයට පෙර ලක්ෂ පහක විදුලිය බිලක් ගෙවූ කර්මාන්ත ශාලාවකට අගෝස්තු බිල වැඩි කිරීමෙන් පසු ලක්ෂ 10ක් පමණ ගෙවීමට සිදුව තිබේ. පසුගියදා දෙවැනි වරටත් විදුලි බිල වැඩි කිරීම මත තේ කර්මාන්තයට වන බලපෑම පිළිබඳව මාර්තු අවසන් වන තෙක් පැවසිය නොහැකි බවද තවදුරටත් ඉහළ යා හැකි පිරිවැය සම්බන්ධයෙන් පැවසිය හැක්කේ ලබන අප්‍රේල් මාසයේ බවද ඔහු සඳහන් කළේය.
පොහොර හිඟය නිසා 2020 සහ 2021 වසර හා සසඳන විට කිලෝ මිලියන 300ක් වූ තේ නිෂ්පාදනය තේ කිලෝ මිලියන 254 දක්වා සියයට 20කින් පමණ අඩු වී තිබේ. එලෙස නිෂ්පාදනය අඩුවීම මත නිෂ්පාදන පිරිවැයද ඉහළ යන අතර එය සියයට 10ත් 20ත් අතර ප්‍රමාණයකි. 2023 පළමු කාර්තුවේද තේ නිෂ්පාදනයේ ඉහළ යාමක් සිදුවනු ඇතැයි සිතිය නොහැකි වන අතර දෙවැනි කාර්තුවේ සිට යම් වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි ඔහු සඳහන් කළේය.