2023 පෙබරවාරි 26 වන ඉරිදා

ඉන්දියාව හෙල්ලුණොත් ලංකාවටත් බලපාවි

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 59

සුගත් පී. කුලතුංගආරච්චි I

මේ වනවිට ඉන්දියාවේ භූ විද්‍යාඥයකු විසින් අනතුරු අඟවා ඇති පරිදි ඉන්දියාවේ රිච්ට්ර් 8ක පමණ වූ මහා පරිමාණ භූකම්පනයක් ඇතිවුවහොත් එහි බලපෑම කොළඹ ප්‍රමුඛ ප්‍රදේශ ගණනාවකටම බලපෑ හැකි බව පේරාදෙණිය සරසවියේ භූවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න කියයි. හිමාචාල් ප්‍රදේශය ද අයත් ඉන්දියානු තැටිය ආශ්‍රිතවම ලංකාව පිහිටා ඇති නිසා එම තැටියේ සිදුවන වෙනස්කම් අපටද බලපෑමට හැකි බව ඔහු පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් භූකම්පන සිදුවන වකවානු ගැන අනාවැකි පළ කළ නොහැකි නමුත් ඒවා සිදුවිය හැකි කලාප මෙන්ම බලපෑම් ඇතිවිය හැකි කලාප හඳුනාගත හැකි බව මහාචාර්ය අතුල සේනාරත්න කියයි. මෙලෙස ලංකාව තුළ භූකම්පනයක් සිදුවුවහොත් ඒ බලපෑම ත්‍රිමලය, මනම්පිටිය, මිනිපේ, බිබිල, මොණරාගල, බුත්තල, වැල්ලවාය ඔස්සේ මෙන්ම දකුණට අම්බලන්තොට, උස්සන්ගොඩ දක්වා ද පැතිර යා හැකි බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න කියයි.

ඉන්දියාවේ මහා පරිමාණ භුකම්පනයක් ළඟදීම සිදුවිය හැකි බව හයිද්‍රාබාද්හි පිහිටි ජාතික භූ භෞතික පර් යේෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය එන්. පූර්ණචන්ද්‍ර රාඕ අනතුරු අඟවා තිබුණි. ඒ තුර්කියේ සිදුවූ මහා භූකම්පනයට අනුගාමීවය. තුර්කියේ මේ අනතුර පිළිබඳව ද ලන්දේසි පර් යේෂකයකු වන ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් විසින් ඊට දින කිහිපයකට පෙර පුරෝකථනය කර තිබුණු බව වාර්තා විය.