සංජීවිකා සමරතුංගI
2023 අයවැය මගින් යෝජනා කරන ලද වයස අවුරුදු 18ට වැඩි තැනැත්තන් වෙනුවෙන් ආදායම් බදු ලිපිගොනු විවෘත කිරීම ළඟදීම ආරම්භ කරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි
. ඒ අනුව අලුතින් බදු ලිපිගොනු එක්කෝටි හැටපන් ලක්ෂ දහනව දහස් තිස් හයක් (1,65,19,036ක්) පමණ විවෘත කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.
අප වෙත ලැබෙන නවතම වාර්තා අනුව වයස අවුරුදු 18ට වැඩි තැනැත්තන් හඳුනා ගැනීම සඳහා ලියාපදිංචි ඡන්දදායක නාමලේඛනය උපයෝගී කර ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් වෙයි.
2023 වසර වන විට මෙරට ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව එක්කෝටි හැටඅට ලක්ෂ එකොළොස් දහස් තුන්සිය හතළිස් එකකි. (1,68,11,341කි.) මේ සියලු දෙනා වයස අවුරුදු 18 සම්පූර්ණ කර ඇති බැවින් ඔවුන් වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කළ යුතුය. එහෙත් දැනට මේ අයගෙන් තනි පුද්ගල බදු ගෙවන්නන් ලෙස ලියාපදිංචි වී ඇති දෙලක්ෂ අනූ දෙදහස් තුන්සිය පස්දෙනකු (2,92,305ක්) ඉවත් කළ යුතුය. එවිට අලුතෙන් බදු ලිපිගොනු ආරම්භ කළ යුතු සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව එක්කෝටි හැටපන් ලක්ෂ දහනව දහස් තිස් හයකි. (1,65,19,036කි.)
එලෙස නව බදු ලිපිගොනු විවෘත කළද මේ අය අතර දුප්පත්කමේ රේඛාවෙන් පහළ සිටින සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 19ක් සිටිති. සමෘද්ධි ප්‍රතිලාභ අපේක්ෂා කරන තවත් පවුල් ලක්ෂ 6ක් පමණ පොරොත්තු ලේඛනවල ඇතුළත්ය. වයස අවුරුදු 18ට වැඩි ආදායම් උපයන්නේ නැති අ.පො.ස උසස් පෙළ දරුවන් මෙන්ම සරසවි සිසු සිසුවියන් දහස් ගණනක් ද වෙති. මේ අය වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කළ ද ඔවුන්ගේ අපේක්ෂිත බදු ආදායම් ලබාගත නොහැකි බව නම් සඳහන් නොකළ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.