2023 මාර්තු 05 වන ඉරිදා

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්: ඡන්ද දිනය මේ සතියේ- මැතිවරණ කොමිසමේ සභාපති

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 46

දේශපාලන වාර්තාකරු I

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් සම්බන්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා එළඹෙන සතියේ මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු පාර්ශ්ව කීපයක් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඡන්ද දිනය මාර්තු 9දාට පෙර ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා දේශයට පැවසීය.

මේ අනුව ලබන සතියේ දිනක භාණ්ඩාගාර ලේකම්, රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති සහ විදුලිය බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් කැඳවා සාකච්ඡා කිරීමට කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම විශේෂ රැස්වීමක් පවත්වනු ලැබූ අතර එහිදී මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පසුගිය සිකුරාදා නිකුත් කරනු ලැබීය. අයවැය හරහා මැතිවරණයට අදාළව වෙන්කර මුදල් රඳවාගැනීම වළක්වන ලෙසට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ නීතිපතිවරයාට එම තහනම හරහා නියෝග කරනු ලැබීය.

එම පෙත්සම විභාග කිරීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරු එම නියෝගය නිකුත් කළහ.