2023 මාර්තු 12 වන ඉරිදා

සරසවි ඇදුරෝ 9දා සිට වර්ජනයේ

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 46

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

පසුගිය දින කිහිපය තුළ උද්ඝෝෂණවල නිරතවූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ආණ්ඩුවෙන් එල්ල වූ මර්දනකාරී ප්‍රහාරවලට විරෝධය පාමින් සියලුම විශ්වවිද්‍යාලයන්හි ආචාර්යවරුන් පසුගිය 9 වැනිදා සිට දින නියමයක් නොමැතිව වර්ජනයක් දියත් කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරැදත්ත ඉලංගසිංහ මහතා දේශයට සඳහන් කළේය.

මේ වන විටත් තමන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සමිමේලනය ලෙස ඉදිරියේදි වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

විශ්වවිද්‍යාල තුළට ආරක්ෂක අංශවලට ඇතුළු විය නොහැකි තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාලවලට ඇතුළු වී සිසුන්ට පහර දීම, ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල පරිපාලනයෙන් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.

මේ අතර විශ්වවිද්‍යාල වෘත්තීය ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් සඳහන් කළේ විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල කෙරෙන පහර දීම් සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි. පූර්ව දැනුම්දීමකින් තොරව ආරක්ෂක අංශවලට විශ්වවිද්‍යාල තුළට ඇතුළු විය නොහැකි වුවද විශ්වවිද්‍යාල තුළට පැමිණ සිදු කළ පහරදීම සම්බන්ධයෙන් සරසවි අනධ්‍යන සේවකයන් ලෙස දැඩි විරෝධය පළකරන බවද හෙතෙම සඳහන් කළේය.