පසුගිය මැයි 16දා අපවත් වූ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී 21 වැනිදා ඉරිදා හවස (අද) පැවැත්වේ. දේහය මහජන ගෞරවය සඳහා ඉරු දින දක්වා උන්වහස්සේ වැඩ සිටි රජගිරිය කළපළුවාවේ ගෝතම තපෝවනය විහාරස්ථානයේ තැන්පත් කෙරිණි.
දොඩම්පහළ චන්දසිරි නාහිමියන් අපවත් වන විට 84 හැවිරිදි වියේ පසු වූහ. 1989 වර්ෂයේදී අමරපුර කල්‍යාණි වංශික මහනිකායේ අනුනායක පදවියට පත්වූ උන්වහන්සේ 2013 වර්ෂයේදී අමරපුර මහ සංඝ සභාවේ සභාපති පදවියට පත්වූහ. 2021 ජූලි මස 20 වැනිදා එවකට උත්තරීතර මහනායක ධූරය හෙබවූ ආචාර්ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන්ගේ අපවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ සිව්වැනි උත්තරීතර මහනායක ධූරයට අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්දසිරි මහනාහිමිපාණෝ පත්වූහ.
වර්ෂ 1950 නොවැම්බර් 25දා කුඩාවැල්ල, වාළුකාරාමයේදී, නූපේ ජයමහා විහාරාධිපති, විද්‍යා විශාරද පණ්ඩිත, මාතර ශ්‍රී මේධානන්ද නාහිමියන් වහන්සේගේ සහ වාළුකාරාමාධිපති, මාතර ශ්‍රී සද්ධාරාම නාහිමියන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ අවුරුදු 73ක පැවිදි ජීවිතයේ දී විශාල ශාසනික සේවයක් කළ භික්ෂූන් වහන්සේ නමක් ලෙස ප්‍රකටය.
I කුසුම්සිරි විජයවර්ධන