2023 මැයි 28 වන ඉරිදා

ඩෙංගු 33000 පනියි! මරණ 22යි!

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:01 64

 අධි අවදානම් කලාප 57ක්! 

I සුගත් පී. කුලතුංගආරච්චි

ඩෙංගු රෝගය නැවතත් භයානක මට්ටමෙන් පැතිර යන බව ජාතික ඩෙංගු මර්දන එකකය අනතුරු අඟවා තිබේ. මේ වනවිට දිනකට නව රෝගීන් 250 සිට 350 දක්වා වාර්තා වන බවත් මැයි මාසයේදී පමණක් නව රෝගීන් සංඛ්‍යාව හය දහසකට ආසන්න වී ඇති බවත් ජනවාරි සිට මැයි මැද දක්වා කාලය තුළ 33,656 ඉක්මවා ඇති බවත් කියයි.

මේ වනවිට දිවයිනේ සියලුම ඩෙංගු රෝගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් එනම් 17,653ක් බස්නාහිර පළාත තුළින් වාර්තා වී තිබේ. නැගෙනහිර පළාත රෝගීන් 4,388ක් සමඟින්  දෙවැනි තැන පසුවේ. එය මුළු රෝගි සංඛ්‍යාවෙන් 12.4%කි. රෝගය උත්සන්න වීම පිළිබඳ   නවතම දත්ත හෙළි කරන්නේ 2023 දී රට පුරා ඩෙංගු රෝගීන් 35,675ක් සහ මරණ 22ක් වාර්තා වී ඇති බවයි.

මෙම භයානක තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් කොට්ඨාස 57ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. මෙම ප්‍රදේශ කිහිපයක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්ද ක්‍රියාත්මක කර ඇත. තවද, පිරිසිදුකම ප්‍රවර්ධනය කිරීම සහ මදුරුවන් බෝවන ස්ථාන තුරන් කිරීම සඳහා සෑම සිකුරාදා දිනකම පිරිසිදු කිරීමේ දිනයක් ලෙස නම් කිරීමට අමාත්‍යාංශය යෝජනා කර ඇත. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සහ එහි ව්‍යාප්තිය අවම කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.