I දේශපාලන වාර්තාකරු
රුපියල් කෝටි 8 කට ආසන්න වටිනාකමක් ඇති රත්රන් බිස්කට් හා ජංගම දුරකථන තොගයක් හොරෙන් මෙරටට ගෙනැවිත් රුපියල් ලක්ෂ 75 ක රේගු දඩයකට යටත් කළ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් පාර්ලිමේන්තුවෙන් නෙරපිය යුතු යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මැතිසබයේ පක්ෂ නායක හමුවට යෝජනා කළේය. ඒ සඳහා රැස්වීමට පැමිණ සිටි සෙසු පක්ෂ නායකයෝ ද එකඟතාව පළ කළෝය.
සිකුරාදා පෙරවරුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක හමුව පැවැත්විණි. හිටපු කතානායකවරයකු වන චමල් රාජපක්ෂ මහතා අලි සබ්‍රි රහීම්ව ඉවත් කළ යුතු බවට වන යෝජනාව පක්ෂ නායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එයට සහභාගි වූ සී.බී. රත්නායක, මනෝ ගනේෂන්, සාගර කාරියවසම්, එම්.ඒ. සුමන්තිරන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු පක්ෂ නායකයන් හිටපු කතානායකවරයාගේ අදහස අනුමත කිරීම විශේෂයකි. මුලින් අලි සබ්‍රි රහීම් නියෝජනය කළ පක්ෂයේ නායක රිෂාඩ් බදුර්දීන් මහතා සහ ජවිපෙ මන්ත්‍රීන් පක්ෂ නායක හමුවට පැමිණ සිටියේ නැත.
අනතුරුව සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පක්ෂ නායකයන්ට දැනුම් දුන්නේ ඒ ගැන කඩිනමින් කතානායකවරයාගේ අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නා බවය. මෙම සිද්ධියට පෙර සමගි ජන බලවේගයද මන්ත්‍රී රහීම්ට එරෙහිව කතානායකවරයාට පැමිණිලි කර තිබිණි.