2023 ජුනි 04 වන ඉරිදා

’’රත්රන් සබ්‍රිට’’ වී.අයි.පී. දොර වැසේ!

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:02 269

I දේශපාලන වාර්තාකරු

ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා හොරෙන් රත්රන් හා ජංගම දුරකථන තොගයක් ගෙනැවිත් නීතියේ රුහැනට කොටුවූ මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට හිමි අතිවිශේෂ අමුත්තන්ගේ විශේෂ වරප්‍රසාද (VVIP Facility) අහෝසි කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු බලධරයන්ට උපදෙස් දී ඇත.

අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා රත්රන් හා ජංගම දුරකථන සිද්ධියට කොටුවී දඩ මුදල් ගෙවා නිදහස් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මොහුට එරෙහිව වහා පියවර ගත යුතු බවය.

ඒ අනුව කරුණු අධ්‍යයනය කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මන්ත්‍රීවරයාට ගුවන් තොටුපොළේදී හිමිවන අතිවිශේෂ අමුත්තන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමට අදාළව නීති හා උපදෙස් ලබාගෙන සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ මතයද විමසා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බව වාර්තා වෙයි.

මෙම තොරතුර සම්බන්ධව දේශය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් විමසූ විට කතානායකවරයා තමන් එම පියවර ගන්නා ලෙස අවශ්‍ය උපදෙස් ලබාදුන් බව වැඩිදුරටත් සනාථ කළේය.