2023 ජුනි 04 වන ඉරිදා

දූෂණ මර්දනයට කාර්යසාධක බලකායක් - ජනපති

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 24

දේශපාලන වාර්තාකරු I

බරපතළ සමාජ අර්බුදයක්ව පවත්නා දූෂණය පිටුදැකීමට විශේෂ කාර්යසාධන බලකායක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 

පසුගියදා ජාතිය අමතා විශේෂ දේශනයක් කළ ජනාධිපතිවරයා ජාතික පරිවර්තන මාර්ග සිතියම ජනගත කරමින් මෙම අදහස් දැක්වීය.

දේශපාලන අංශයන්හි දූෂණ මැඩපැවැත්වීමට ඩිජිටල්කරණය සහ වගවීම පාදක කරගත් රාජ්‍ය යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා මෙම කාර්යසාධන බලකාය උපයෝගි කර ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

දශක ගණනාවක් තිස්සේ ආණ්ඩු විසින් රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නට යාමේදී රට විකුණනවා වැනි සටන් පාඨ ඉදිරිපත් කරමින් ජනතාව නොමග යැවීමට ඇතැම් කණ්ඩායම් ක්‍රියා කළේය. කෙසේ වෙතත් පසුගිය කාලයේ රජය ඉතා දුෂ්කර තත්ත්වයට පත්ව තිබූ මෙරට ආර්ථිකය ගොඩගෙන නව ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් රට ප්‍රගතියේ මාවත වෙත අවතීර්ණ කර තිබේ. කවර තත්ත්වයක් යටතේවත් මෙයට වසරකට පෙර පැවැති තත්ත්වයට රට නැවතත් පත්කිරීමට කිසිවකුට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණයෙන් පැවසීය.