I දේශපාලන වාර්තාකරු
මුදල් විෂයට සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවිධ කමිටු 10ක් පිහිටුවා ඒවායෙන් එකිනෙකට පරස්පර තීරණ ගැනීම නිසා බරපතළ ප්‍රයෝගික ගැටලු උද්ගත වී ඇතැයි දේශයට වාර්තා වෙයි.
මෙලෙස මුදල් විෂයට අදාළව පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇති විශේෂ කමිටු 10 වන්නේ රජයේ ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, බැංකුකරණය හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණ කාරක සභාව, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාව යන කමිටු 10 යි.
මෙම කාරක සභා 10ම පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන විෂයට අදාළව විවිධ තීරණ ගැනීමත් ඒ ඒ සභා විසින් ගනු ලබන ඇතැම් තීරණ අනෙක් සභා ගන්නා තීරණවලට ඇතැම්විට පරස්පර වීමත් නිසා පාර්ලිමේන්තු නිලධරයන් මුදල් අමාත්‍යංශ සහ මහ බැංකු බලධරයන් හා විෂය භාර මැති ඇමැතින් බලවත් අපහසුතාවයට පත්වන බවද සඳහන්ය. මෙබඳු ඇතැම් තීරණ සම්බන්ධයෙන් නිශ්චිත වගකීම් පැවරෙන්නේ කාටද යන්න පවා අපැහැදිලිව පවත්නා බව මේ ගැන දේශයට අදහස් දැක්වූ රාජ්‍ය මූල්‍ය අංශ ප්‍රධානියෙක් පැවසීය. එබැවින් ජාතික ආර්ථිකය සම්බන්ධ නිශ්චිත වගකීම පැවරෙන කාරක සභා ක්‍රමයක් තිබිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.