I ආරක්ෂක වාර්තාකරු
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර ඇතැයි චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 14 දෙනකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසුව වගකීම් පැහැර හැරීම පිළිබඳ චෝදනා එල්ල වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු කනිෂ්ඨ නිලධාරින් 14 දෙනකුට ඊට අදාළව දැනටමත් චෝදනා පත්‍ර බාර දී හමාරය.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජේෂ්ඨ පොලිස් අධිකාරින්වරුන් වන එච්.බී. සිසිල කුමාර, සංජීව බණ්ඩාර හා සහකාර පොලිස් අධිකාරි එස්.ඩී. කුමාරසේකර යන අයවලුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීම ජාතික පොලිස් කොමිසම විසින් මේ වන විටත් ආරම්භ කර තිබේ.
මේ අයට අමතරව තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 5 දෙනකුටත් පොලිස් පරීක්ෂකවරයකුටත් පොලිස් සැරයන්වරුන් 3 දෙනකුටත් එරෙහි විනය පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් පත් කරනු ලබන පරීක්ෂණ මණ්ඩල මගින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමන්ට ලබාදුන් චෝදනා පත්‍රයට වැරදිකරු බව කියා වරද පිළිගත් පොලිස් සැරයන්වරයකු වන එච්.එස්.ඩී. නිශාන්ත පොලිස් සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා අවශ්‍ය පියවර ගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.