2023 ජුනි 24 වන සෙනසුරාදා

දකුණු කලාපය ධන නිධානයක් - මහාචාර්ය අතුල සේනාරත්න

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:02 226

I සුගත් පී කුලතුංගආරච්චි

ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය ලොව අඩුම ගුරුත්වාකර්ශනය සහිත කලාපයක් තුළ පැවතීමේ භූ විද්‍යාත්මක තත්ත්වය නිසා මෙරට ලොව ප්‍රධාන අභ්‍යවකාශ ප්‍රවාහන සහ ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් මෙන්ම සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කළ හැකි බව පේරාදෙණිය සරසවියේ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න “දේශය” කළ විමසුමකදී අවධාරණය කර සිටියේය. නාසා ආයතනය කළ හෙළිදරව්වකට අනුව ලංකාවේ දකුණු ප්‍රදේශය ලොව අඩුම ගුරුත්වය ඇති කලාපයක් තුළ පැවතීමේ සුවිශේෂී භූ විද්‍යාත්මක තත්ත්වයක්  අනාවරණය කර තිබුණි.

මේ තත්ත්වය ආචාර්ය ආතර් සී ක්ලාක්, කලින් කියා තිබූ පරිදි අපට අනාගත ලෝකයේ හොඳම අඩු වියදම් අන්තර්ජාතික අභ්‍යවකාශ තොටුපළ (Space port) හෝ නැතහොත් අන්තර්ජාතික අභ්‍යවකාශ සෝපානයක් (Space elevator)   හෝ තැනීමට යොදාගත හැකි බව ඔහු පෙන්වා දෙයි.  

එසේම මේ ආශ්‍රිතව සිදු කරන ගැඹුරු කැණීමක් මගින් භුගත ධන නිධාන මතුකර ගැනීමේ හැකියාව පවතින බවද ඔහු අවධාරණය කරයි. විශේෂයෙන්ම ඒ ප්‍රදේශය වෙත යන කෙනකුගේ සිරුරේ බර අඩුවීමේ තත්ත්වයද සුව සේවා සඳහා සංචාරකයන් මෙරටට ආකර්ශනය කර ගැනීමේ මහඟු අවස්ථාවකට මග පාදා තිබේ. අප නොපමාව මේ අනාගත සරු ආයෝජන අවස්ථාව අල්ලාගත යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න අවධාරණය කළේය.