I සසංක චලන ගිම්හාන
කුඩා පෙන්ඩනයක් ඇතුළත ශුද්ධ වූ බයිබලයේ පිටු 900 ක කොටස් ඇතුළත් කර එය කියවිය හැකි ලෙස සිහිවටන මාල නිෂ්පාදනය කරන ආභරණ සමාගමක් පිළිබඳ කටුනායක ආයෝජන කලාපයෙන් වාර්තා වෙයි.
නැනෝ තාක්ෂණය මගින් මෙම සිහිවටන මාල නිෂ්පාදනය කරන අතර මෙය විශේෂ වූ කන්නාඩියකින්, අන්වීක්ෂයකින් කියවිය හැකි ලෙස හෝ කිව්.ආර්. කේතයක් ස්කෑන් කිරීම මගින් කියවිය හැකි ලෙස පාරිභෝගික ඉල්ලීම මත සකස් කරනු ලබයි. මෙයට අමතරව මෙම කර්මාන්ත ශාලාව මගින් සිය පවුල්වල සමීපතමයන්ගේ භෂ්මාවශේෂ සුරුකිව තබාගත හැකි ලෙස ආභරණ නිපදවීම සිදු කරන අතර එයට ජර්මනිය, ඇමෙරිකාව ආදී රටවල විදේශිකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතින බවත් එම සමාගම පවසයි.
මෙම සිහිවටන ආභරණය නිෂ්පාදනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අනුබද්ධ කටුනායක ආයෝජන කලාපයේ ආර්.කේ.එස්. සමාගම විසිනි. මෙම සමාගම නැනෝ තාක්ෂණය මගින් රිදී ආභරණ නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන්නේය.
මෙම ක්‍රමවේදය මගින් බයිබලය ආදී ග්‍රන්ථ පමණක් නොව මියගිය තම සමීපතමයන්ගේ ඡායාරූප, හඬපට ආදිය ද නැනෝ තාක්ෂණය මගින් මෙහි ගබඩා කිරීමට හැකි බව ආර්.කේ.එස්. අපනයන සමාගමේ මෙහෙයුම් කළමනාකරැ ගෞතම් වාසුදේවන් මහතා පවසයි.