I දේශපාලන වාර්තාකරු
රටේ මූල්‍ය පාලන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවට පැවරී පවතිද්දී මහ බැංකුව ස්වාධීන බවට පත්කිරීමට පනතක් සම්මත කිරීම වැරදි සහගත බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා දේශයට පැවසීය. ඔහු මෙම සඳහන කළේ ලබන සතියේ මැතිසබයට ඉදිරිපත් කෙරෙන මහ බැංකුව ස්වාධීන කිරීමට අදාළ පනත ගැන අදහස් දක්වමිනි.
රජය වෙනුවෙන් මුදල් නෝට්ටු මුද්‍රණය සහ නිකුත් කිරීම සිදුකරන්නේ මහ බැංකුවයි. එනිසා මහ බැංකුව පාර්ලිමේන්තුවට යටත් විය යුතු බව තමන්ගේ මතය යැයි හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේය.
එසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුව විධායකයෙන් ස්වාධීන විය යුතු බව තමන් පිළිගන්නා බව හෙතෙම ප්‍රකාශ කළේය. එසේම මහ බැංකුව මුදල් අමාත්‍යංශ පාලනයෙන්ද නිදහස් විය යුතුය. නොඑසේව ශ්‍රී ලංකා මහ බංකුවට පූර්ණ ස්වාධීනත්වයක් ප්‍රදානය කිරීම අනාගතයේ නැති ප්‍රශ්න ඇතිකරවන තත්ත්වයක් විය හැකි බවද හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් කීය.
පරමාධිපත්‍ය බලය ඇත්තේ රටේ ජනතාව සතුවයි. ජනතාව නියෝජනය කරන්නේ මහජන නියෝජිතයන්ගෙන් සැදි පාර්ලිමේන්තුවයි. එබැවින් අයි.එම්.එෆ්. සංවිධානය නිර්දේශ කළ පමණින් මහ බංකුව පූර්ණ ස්වාධීන ආයතනයක් නොවිය යුතු බව සරත් එන්. සිල්වා මහතා අවධාරණය කළේය.