2023 ජුලි 22 වන සෙනසුරාදා

බේකරි කෑමවලට මිල නියාමනයක්

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01 99

I යසවර්ධන රුද්‍රිගූ

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා මේ දිනවල අමාත්‍යංශය මට්ටමින් පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මිල කළමනාකරණ) ඇම්. රොහාන් දේශයට පැවසීය. ඔහු පැවසුවේ පාන් හැරුණුවිට සෙසු බේකරි නිෂ්පාදන විවිධ ස්වරූපයෙන් වර්ග රැසකින් වෙළෙඳපොළට දමා ඇති නිසා ඒවා එකිනෙකට මිල සීමා පැනවීම ප්‍රායෝගිකව ඉතා දුෂ්කර බවයි. එහෙත් පාරිභෝගිකයා ගසාකෑම නැවැත්වීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍යව ඇති බව හෙතෙම අවධාරණය කළේය.

දැනටමත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ප්‍රදර්ශනය කළ යුතු බවට අධිකාරිය නියෝග නිකුත් කර ඇති අතර එයට අවනත නොවන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඔහු කීවේය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඇම්.කේ. ජයවර්ධන පවසන්නේ ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් තිරිඟු පිටි මිල අඩුකර නොමැති අතර ඔවුන් පිටි කිලෝවකට රුපියල් 10ක වට්ටමක් පමණක් දී ඇති බවය. මේ හේතුව නිසා මෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය රැසක මිල අසීමිත ලෙස වැඩිවී ඇති නිසා තවදුරටත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.