I ගයාන් ගාල්ලගේ
පානීය ජල ගාස්තුව 50%කින් ඉහළ දැම්මත් තවමත් ජල සම්පාදන මණ්ඩලයට ජලය ලීටරයකින් සත දෙකක පාඩුවක් දරන්නට සිදුවෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා දේශයට පැවසීය.
ගාස්තුව ඉහළ දැමීමට පෙර පිරිසිදු ජලය ලීටරයක් නිෂ්පාදනය කිරීමට සත 7ක මුදලක් වැය වුණත් පාරිභෝගිකයන්ට එය ලබාදුන්නේ සත 2ක මුදලටය. එහිදී මණ්ඩලයට සත පහක මුදලක් පාඩු වූ බව අමාත්‍යවරයා කීය. එහෙත් ගාස්තුව වැඩි කිරීමෙන් පසුව ජල ලීටරයක් ජනතාවට සත පහකට ලබාදීමට අවස්ථාව උදා වුණත් තවත් සත දෙකක පාඩුවක් මණ්ඩලය දරන බව හෙතෙම සඳහන් කළේය.
මේ හේතුවෙන් ජල ගාස්තු නැවත ඉහළ දමන්නේද යන්න විමසූ විට අමාත්‍යවරයා සඳහන් කළේ තවම එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.