I දේශපාලන වාර්තාකරු
මේ වනවිට ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් අනුමත කරන ලද පොලී අනුපාත දෙකක් එකවර ක්‍රියාත්මක වීම නිසා බැංකු තැන්පතු සම්බන්ධව බරපතළ ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇතැයි නම් සඳහන් නොකළ වාණිජ බැංකු ප්‍රධානියෙක් දේශයට පැවසීය. දැනට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිපත්ති පොලී අනුපාතයන් වන්නේ බැංකු තැන්පතු සඳහා 11%ක් හා ණය සඳහා 12%ක් වශයෙනි. මහ බැංකුව වාණිජ බැංකුවලට මෙම පොලී අනුපාත ක්‍රියාත්මක කරන ලෙස නියම කර ඇත.
එසේ තිබියදී මෙරට වඩාත් සුරක්ෂිතම තැන්පතුව ලෙස සැලකෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා (මාස තුනකට) 20%ක පොලියක් මහ බැංකුව විසින්ම ගෙවමින් සිටී. මේ නිසා වාණිජ බැංකුවලට මහ බැංකුව විසින් අනුමත කළ පොලී අනුපාතයට තැන්පතු ලබාගැනීම දුෂ්කර වී ඇතැයි පැවසූ එම ප්‍රකාශකයා බැංකු පොලිය සම්බන්ධව මහ බැංකුව විසින් ප්‍රතිපත්ති දෙකක් ගෙන යාම නිසා මෙම ව්‍යාකූල තත්ත්වය හටගත් බව අවධාරණය කළේය. පවත්නා ආර්ථික තත්ත්වය තුළ 19%ක පොලී අනුපාතයට පවා භාණ්ඩාගාර බිල්පත් අවශ්‍ය ප්‍රමාණයට අලෙවි කරගත නොහැකි වී ඇති බැවින් රටේ බැංකු පොලී අනුපාත අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇති බවද ඔහු සඳහන් කළේය. ඒ අතර මේ වන විටත් සමහර පෞද්ගලික මූල්‍ය සමාගම් සිය වාර්ෂික පොලී අනුපාතයන් 22% සිට 24% දක්වා වන බව නිවේදනය කර ඇත.