I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
විදුලියට ජලය සියයට තිස් පහයි.
වාරි ජලය සියයට තිස් දෙකයි!
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවලෙට බලපා ඇති අතර ඉන් ජලාශ විශාල ප්‍රමාණයක ජල ධාරිතාව පහළ ගොස් තිබේ. මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශයන්හි ජල ධාරිතාව 32.6% දක්වාද, මහවැලි අධිකාරියට අයත් ජලාශයන්හි ධාරිතාව 32% දක්වාද පහත වැටී ඇතැයි වාර්තා වේ.
විදුලි උත්පාදන ජලාශවල ජල මට්ටමද 35.7%ක් දක්වා පහත වැටී තිබේ. පසුගිය මැයි මාසයේ ආරම්භ වූ එල්නිනෝ සංසිද්ධිය ශ්‍රී ලංකාවටද බලපා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස නිරිත දිග මෝසම් වැසි අවම වීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුර, උතුරුමැද සහ නැගෙනහිර යන පළාත්වලට වැඩි වශයෙන් මින් බලපෑම් එල්ල වී ඇති අතර, අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ආදී දිස්ත්‍රික්කවල වැව් රැසක ජල මට්ටම්ද පහළ බැස තිබේ.
වලවේ ගංගාවෙන් පෝෂණය වන උඩවලව ජලාශයේ ජල මට්ටම 1.8 % දක්වා පහළ බැසීමෙන් ඉන් ජලය නිකුත් කෙරෙන කුඹුරු අක්කර හැටපන් දහසකට වැඩි ප්‍රමාණයකට ජලය සපයා ගැනීම ගැටලුවක් බවට පත්ව ඇති අතර තමන්ට සමනල වැවෙන් ජලය ලබාදෙන ලෙසට ඉල්ලමින් ගොවි ජනතාව සත්‍යග්‍රහයක්ද ආරම්භ කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (ජල කළමනාකරණ) ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් මගින් ජලය ලබා දෙන ගොවිබිම් සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය පවතින බවයි. බොහෝ වගාවන් සඳහා ලබා දිය යුත්තේ තවත් ජලමුර දෙක තුනක් පමණක් බැවින් එය කළමනාකරණය කරගත හැකි බවද ඇය සඳහන් කරයි.
දැනට පවතින එල්නිනෝ තත්ත්වය අවම වී එළඹෙන ඔක්තෝබර් නොවැම්බර් යන මාසවල වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.