I කුසුම්සිරි විජයවර්ධන
මේ දිනවල පවතින වියළි කාලගුණය නිසා ලංකාවේ රජරට, නැගෙනහිර, ඌව, දකුණ යන පළාත්වල වනජීවී රක්ෂිතවල සහ වෙනත් වනාන්තරවල සිටින අලිඇතුන් 6000ක් ජල හිඟයකට මුහුණපා අවදානමකට ලක්ව සිටින බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රන්වැල්ල දේශයට පැවසුවේය.
වන අලි 450ක් පමණ වාර්ෂිකව මිය යන ශ්‍රී ලංකාවේ මෙය අලියාට එල්ල වූ තවත් අවදානමක් බවත් ඔහු පැවසුවේය. උඩවලවේ වනෝද්‍යානය මෙන්ම මහවැලි ගංගාවේ ද්‍රෝණි සියල්ලේම පිහිටි වනාන්තරවලට මේ දිනවල ජල හිඟය බලපා ඇති බවත් එය අලිඇතුන්ට ඍජුවම බලපාන බවත් ඔහු වැඩිදුරටත් කීවේය. නියඟය තවදුරටත් පැවතුණහොත් දැනට සුපුරැදු සංචරණ මාර්ගවල ගමන් කරන අලිඇතුන් ජලය සොයාගෙන ගම්වලට පැමිණීම සිදුවන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.
සමස්ත ලංකා වනජීවී නිලධාරින්ගේ සංගමේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළේ මේ වියළි කාලය සෑම වර්ෂයකම එළඹෙන බවත්, එයට විසඳුම් ලෙස වාසස්ථාන කළමනාකරණය, තණපිටි ඇතිකිරීම, ගම් වටා සහ වනඋද්‍යාන වටා විදුලි වැට පිහිටුවීම වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි. නමුත් දේශපාලන බලපෑම නිසා අලි සංක්‍රමණික මාර්ග ඇතැම් තැන්වලින් අවහිර වී ඇති බවත්, ඒ ස්ථානවලින් අලි ගම් වැදී ගොවි ජනතාවට කරදර කරමින් තම ජීවිත ද අවදානමට ලක්කර ගන්නා බවත් සභාපති ප්‍රභාෂ් පැවසුවේය. අලි සංක්‍රමණික මාර්ග ගැටලුව විසඳාගතහොත් වන අලින්ට සිදුවන ජීවිත හානි සහ මිනිසුන්ට අලින්ගෙන් සිදුවන හානිය 90% ක් පමණ අඩු කරගත හැකි බව සභාපතිවරයා කීවේය.