ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
පවතින වියළි කාලගුණිත තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 7කට දැඩිව බලපා ඇති අතර ඉන් පුද්ගලයන් 97500කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පවත්නා දැඩි නියඟය හේතුවෙන් දිවයිනේ සියලුම ජලාශ පාහේ සිඳී ගොස් ඇති අතර එයින් වැඩිම බලපෑමට මුහුණපෑවේ උඩවලව ජලාශයයි. එහි ජලධාරිතාව 0.45% දක්වා පහත වැටුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස වගාබිම් විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබේ. දිවයින පුරා ඇති කුඩා වැව් විශාල ප්‍රමාණයක් ද මුළුමනින්ම සිඳී ගොස් ඇති අතර, මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර 407 දක්වා පහත වැටී ඇති අතර ඉන් ජල විදුලිය නිපදවිය හැක්කේ තවත් දින 28කට පමණක් බවට වාර්තා වේ. කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශයන්හි ජල මට්ටමද පිටාර මට්ටමේ සිට අඩි 50ක් පමණ පහත වැටී ඇතැයි වාර්තා වේ.
නියං සමයේ ජලාශවලට ලැබෙන ජල ප්‍රමාණය අවම වුවද විදුලිය, කෘෂිකර්මය සහ වෙනත් කටයුතු සඳහා වන ජල පරිභෝජනය ඒ ආකාරයෙන්ම පැවතීම වැව් සිඳීයාමට බලපාන අතර දැඩි හිරු රෂ්මිය හේතුවෙන් ජල තලය මත ඇති ජල අනු, වාෂ්ප බවට පත් වීමෙන් සිදුවන වාෂ්පීකරණයද එයට හේතුවක් බවත් එය ඝන මීටර දස දහස් ගණනකින් පමණ සිදුවන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා දේශයට සඳහන් කළේය.