2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

නිව් ෆෝට්‍රස් ගිවිසුම අවලංගුයි

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

විදුලිය උත්පාදනය හා එයට අවශ්‍ය ද්‍රව වායු (LNG) සැපයීමට අදාළව 2021 වසරේ ශ්‍රී ලංකාව ඇමෙරිකානු සමාගමක් වන නිව් ෆෝට්‍රස් සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම අවලංගු කර ඉන්දියාවේ පෙට්‍රොනෙට් නම් සමාගමකට පැවරීම සඳහා අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇතැයි විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ ගිවිසුම්ගත වූයේ විදුලිබල මණ්ඩලයේ නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව දේශපාලන අවශ්‍යතා මත පදනම්වය. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ගිවිසුම යටපත්ව ගියේය.

එම ගිවිසුම මගින් කෙරවළපිටියේ දැනට ක්‍රියාත්මක වන මෙගවොට් 350ක යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට්කෝස්ට් සමාගමේ කොටස්වලින් මහා භාණ්ඩාගාරයට අයත් 40%ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් නමැති සමාගමට විකිණීමටත්, විදුලි බලාගාරයට LNG සැපයීමට සම්බන්ධ පාවෙන ගබඩාව හා නළ පද්ධතිය ඉදිකිරීම හා පවත්වාගෙන යාම ද අදාළ සමාගමට පැවරීමටත් මූලික එකඟතා ගිවිසුමක් අත්සන් කර තිබිණි.

කෙරවළපිටියේ යුගදනවි බලාගාරය සහ එහි දෙවැනි අදියර යටතේ ඉදිකෙරෙන බලාගාරය ඉන්ධන හා එල්එන්ජී යන දෙයාකාරයෙන්ම ක්‍රියාත්මක කළ හැකි බලාගාර දෙකකි. එල්එන්ජී භාවිතයෙන් විදුලිය නිපදවන විට ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවනවාට වඩා 50%ක් පමණ අඩු පිරිවැයකින් විදුලිය නිපදවිය හැකිය.

පැරණි ටෙන්ඩර් පටිපාටිය අවලංගු කොට එදා නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදුන් ආකාරයටම නව සමාගමට මෙම බලාගාරය ලබා දීමට එම කැබිනට් පත්‍රිකාව මගින් අනුමැතිය ඉල්ලා ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01