2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

උසස් පෙළ විභාග ප්‍රතිඵල: දවස හරියටම කියන්න බෑ - විභාග කොමසාරිස්

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:03 311

I කුසුම්සිරි විජයවර්ධන

මේ වසරේ ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වූ 2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ දිනය නිශ්චිතවම පැවසීමට අපහසු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර දේශයට පැවසුවේය. 

ඔහු පැවසුවේ අගෝස්තු මාසය තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.  

උසස් පෙළ විභාගය පැවැත්වීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා මාස හතරක් පමණ පමා වූ බවත්, විභාගය පැවැත්වූ දින සිට සැලකූ විට ප්‍රතිඵල පමාවීමක් සිදු නොවූ බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය. උසස් පෙළ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ පමාවක් සිදුව නැති අතර, ප්‍රශ්න පත්‍ර සමීක්ෂණය සහ ඇගයීම් ක්‍රියාවලිය ඇතුළු කටයුතු සඳහා දෙපාර්තමේන්තුවේ උපරිම දායකත්වය දක්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

2022 උසස් පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්එක් දහසකි. ඒ අතරින් පාසල් අයැදුම්කරුවන් 278,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් විභාගය සඳහා අයැදුම් කර තිබුණි. පසුගිය මාසයේ අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසයේ නිකුත් කරන බවත්, 2023 උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 27දා සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වෙන බවත්ය.