I ගයාන් ගාල්ලගේ
එළඹෙන ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයත් එක් කිරීම සඳහා පක්ෂ දෙෙකන්ම එකතු වූ කණ්ඩායමක් සැලසුම් කරමින් පවතින විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඉදිරියේ එන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමටත්, මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමටත් මෙම කණ්ඩායමෙහි එකඟතාවය වී තිබේ.
කෙසේ වෙතත් මෙම එකඟතාවය මේ වනවිට නායකයන් සමඟ සාකච්ඡා කොට නොමැති බවත් සිය පාක්ෂිකයන් හරහා බලපෑම් කිරීමට සූදානම් වන බවත් දැනගන්නට තිබේ. විශේෂයෙන් 13 සම්බන්ධයෙන් වන එකඟතාවයන් මෙම එක්වීම සඳහා මූලික කර ගැනීමටත්, එසේම පොහොට්ටුවේ පිරිස රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් සිටීමත් මෙම එක්වීමට තවත් හේතුවක් කරගෙන ඇතැයි වාර්තා වේ.මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා එම පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පිරිස පිඹුරුපත් සකසමින් යන බව සඳහන් වේ. විශේෂයෙන් 13 සමඟ සිදුවන සාකච්ඡා මත ජනාධිපතිවරයාත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එකම මේසයකට ගෙන ඒම ඔවුන්ගේ අරමුණ වී තිබේ. ඒ අනුව දැනටමත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියත්, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාත්, වර්තමාන ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කොට විපක්ෂ නායකවරයා, අගමැතිවරයා ලෙස ඉදිරිපත් විය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර තිබේ.