2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

භාණ්ඩ හා සේවා මිල සීයයට 102කින් නැගලා - මහාචාර්ය වසන්ත අතුකෝරල

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:02 82

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2021 වසරට සාපේක්ෂව 2023 ජූලි මාසය වන විට භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් 102%කින් පමණ වැඩි වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා දේශයට සඳහන් කළේය.

ආහාර කාණ්ඩයේ මිල 128%කින් පමණ වැඩි වී ඇතැයිද, ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් 85%කින් පමණ ඉහළ ගොස් ඇතැයිද සඳහන් කළ ඒ මහතා ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවේ සඳහන් වන පරිදි පසුගිය ජූනි මාසයට වඩා ජූලි මාසයේ උද්ධමනය අවම වී ඇතැයි යන්නෙන් අදහස් වන්නේ  භාණ්ඩ මිල පහත වැටීමක් නොව භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් ඉහළ යාමේ වේගය පහත වැටීමක් බව සඳහන් කරයි.

ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ උද්ධමනය පහළ යෑම සෘණ දශම 7ක් වැනි මට්ටමක වෙනසක්  පමණක් වන අතර ආහාර කාණ්ඩයේ උද්ධමනය 2.5%කින් පමණ අඩුවීමක් පෙන්නුම් කළද එය ජනතාවට වැදගත් නොවන අගයක් යැයි සඳහන් කරයි.. 2023 ජනවාරි මාසයට සපේක්ෂව පෙබරවාරි මාසයේ උද්ධමනය 49%කින් වැඩි විය. එලෙස 49%කින් වැඩි වී ජූලි මාසයේ 2.5%කින් අඩුවීම ජනතාවට කිසිදු ආකාරයකින් නොදැනෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.