2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

නව අල්ලස් කොමිසම නීතිමය අර්බුදයක!

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 151

දේශපාලන වාර්තාකරුI

බරපතළ නීතිමය අර්බුදයක් හටගැනීම නිසා නව අල්ලස් දූෂණ කොමිසම ස්ථාපිත කිරීම අඩාල වී ඇතැයි දේශයට වාර්තා වෙයි.

නව අල්ලස් දූෂණ කොමිසම ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරවය. පනත සම්මත වීමෙන් පසුව ගිය අගෝස්තු 08දා කතානායකවරයා විසින් එය සහතික කරනු ලැබීය.

අනතුරැව අධිකරණ අමාත්‍යංශය ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුය. එහෙත් අනපේක්ෂිතව හටගත් නීතිමය අර්බුදය නිසා ගැසට් නිවේදනය නිකුත් කිරීමත් නව අල්ලස් දූෂණ කොමිසම පත්කිරීමත් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

දේශයට ලැබුණු තොරතුරුඅනුව මෙම නීතිමය අර්බුදය හටගෙන ඇත්තේ පනතේ ඇතැම් වගන්තිවල පවත්නා බරපතළ පරස්පරතා හේතුවෙනි. වාර්තා වන ආකාරයට එහි වගන්ති ගණනාවක මෙම පරස්පරතා පවතී. අල්ලස් කොමිසම පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත සිදු කළ යුතු යැයි පනතේ සඳහන් වන අතර කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් විසින් සිදු කළ යුතු යැයි දැක්වේ. එවන් ආයතනයක් දැනට ක්‍රියාත්මක නොවේ.

මෙබඳු පරස්පරතා ගණනාවක්ම පනතේ ඇතුළත් වී තිබීම නිසා හටගත් අර්බුදය නිරාකරණයට පසුගියදා නීතිපති දෙපාර්තමේන්තු නිලධරයන්ගේද සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම්වරයා විශේෂ රුස්වීමක් පවත්වා ඇත.

එහිදී නීතිපති නියෝජනය කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා උපදෙස් දී ඇත්තේ මෙම පනත නැවත සංශෝධනය කොට අල්ලස් කොමිසම පත් කළ යුතු බවය. එහෙත් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැත.

කෙසේ හෝ මෙම නීතිමය පරස්පරතා පවතිද්දී නව අල්ලස් කොමිසම ස්ථාපිත කළහොත් ඊට එරෙහිව නඩු පැවරීමට පාර්ශ්ව ගණනාවක් සූදානමින් සිටින බව නීති අංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.