I යසවර්ධන රුද්රිගූ
ආණ්ඩුව හදිසියේ ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝවකට රුපියල් 11ක බද්දක් පැනවූයේ තිරිඟු පිටි නිෂ්පාදනයේ ඒකාධිකාරිය හිමිකරගෙන ඇති ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන විදේශ සමාගම් දෙක ආරක්ෂා කිරීමට බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන චෝදනා කළේය.
ඔහු දේශයට පැවසුවේ දැනට තම සාමාජිකයන් බේකරි නිෂ්පාදන සඳහා පාවිච්චි කරනුයේ ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් දෙක නිෂ්පාදනය කරන තිරිඟු පිටි වන අතර එහි මිල කිලෝව රුපියල් 200 බවයි. තිරිඟු ඇට සඳහා කිලෝවට රුපියල් 6ක් ආනයන බදු පනවා ඇති බව ආණ්ඩුව නිවේදන කළද සත්‍ය වශයෙන්ම ඇට සඳහා බදු වැඩිකර ඇත්තේ කිලෝවට රුපියල් 3ක් පමණි. මුලින් තිබූ රුපියල් 3ක ආනයන බද්ද මේ වනවිට රුපියල් 6 දක්වා ඉහළ නංවා තිබේ.
ආණ්ඩුව තිරිඟු පිටි කිලෝවක ආනයන බද්ද රුපියල් 11කින් ඉහළ නොදැම්මා නම්, පාන් ඇතුළු බේකරි නිෂ්පාදන තවත් රුපියල් 10කින් අඩුකර අලෙවි කළ හැකිව තිබූ බව සභාපතිවරයා කීය. එයට හේතුව මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ආනයන කරන තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 160 දක්වා පහළ බැස තිබීමයි. එහෙත් බදු වැඩිකිරීම නිසා මෙරට පාරිභෝගිකයාට එම අවස්ථාව අහිමි වී තිබේ.
දැනටමත් ආනයන තිරිඟු පිටි කිලෝවකට පනවා ඇති සියලු බදු රුපියල් 35ක් වන අතර, අලුත් බද්ද සමඟ එය රුපියල් 46 දක්වා ඉහළ නගින බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.