2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

ආසියානු ක්‍රිකට් බලන්න වැල නොකැඩී රටින් එති

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

I යොහාන් භාසුර

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහාම ඉන්දීය ජාතිකයන් ප්‍රමුඛ විදේශ ප්‍රේක්‍ෂකයන් 5,000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙනු ඇති බවට විශ්වාස කරන බව සංචාරක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පල්ලෙකැලේදී මේ මස 2 වැනිදා පැවැත්වීමට නියමිත තරගය නැරඹීමට පමණක් ඉන්දියානුවන් 3000කට අධික සංඛ්‍යාවක් සෘජුවම අන්තර්ජාල හරහා ප්‍රවේශපත් වෙන්කරගෙන ඇති බවත්ය.

සංචාරක සේවා සපයන ආයතන රැසක්ද එම තරගයේ ප්‍රවේශපත් 5,000කට අධික සංඛ්‍යාවක් වෙන්කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද, එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියානුවන් 600ක පමණ පිරිසක් වෙන්කරගත් ගුවන්යානා තුනකින් පාකිස්තානයට එරෙහිව තරගය නැරඹීමට පැමිණීමට සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් කළ විමසුමකදී පැවසුවේ තරග නැරඹීමට පමණක් එන සංචාරකයන් ලෙස වර්ග කර නොමැති බවත් සතියෙන් සතිය එම අධිකාරිය කරන ඇස්තමේන්තුව අනුව තරග නැරඹීමට පමණක් පැමිණි සංචාරකයන් හඳුනාගත හැකි බවත්ය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන් වීම නිසා මහනුවරට තරග නැරඹීමට එන සංඛ්‍යාව ඉහළ ගියහොත් සූදානම් වීමේ පියවරක් ලෙස ඔවුන්ගේ නවාතැන් සඳහා නිවාස තාවකාලිකව ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.