ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
ලබන වසරේ ජනවාරියේ සිට එස් වැට් ක්‍රමය හෙවත් අත්හිටවූ බදු ක්‍රමය (suspended vat) අහෝසි කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින අතර එය අපනයනකරුවන්ට දැඩි බලපෑමක් එල්ලකරනු ඇතැයි ශ්‍රීලංකා නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා දේශයට ප්‍රකාශ කළේය.
අපනයනකරුවන් සඳහා පවතින වැට් බද්ද බින්දුවකි. එහෙයින් යෙදවුම් වැට් බද්දෙන් ඉපැයුම් වැට් බද්ද අඩුකිරීමෙන් පසු ඉතිරි මුදල යළි අපනයනකරුවා වෙත යළි ලබා දීම සිදු වූ අතර වැට් බදු නීතිය අනුව එය දින 14ක් ඇතුළත චෙක් පතකින් ගෙවීමට නියමිත විය. එහෙත් එම මුදල යළි ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වසර ගණන් කල් ගැනීම හේතුවෙන් අපනයනකරුවන්ට අයත් මිලියන ගණනක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිරවී තිබීම අපනයනකරුවන්ගේ මූල්‍ය තත්ත්වයට බලපෑවේය. පසුව එම ක්‍රමය වෙනුවට එස් වැට් ක්‍රමය හෙවත් අත්හිටවූ බදු ක්‍රමය හඳුන්වා දුන් අතර අපනයනකරුවන් සහ සැපයුම්කරුවන් තම වැට්බදු ප්‍රමාණය වවුචරයක් මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කළ අතර දෙපාර්ශ්වයේ වැට් බදු වවුචර සසඳා බැලීම පමණක් සිදු විය. මේ තත්ත්වය යටතේ අපනයනකරුවන්ට වැට් බදු ගෙවා යළි එම බදු මුදල් ප්‍රමාණය ලබා ගැනීමේ ක්‍රමවේදය අහෝසි විය.
මේ වන විට වාර්ෂික ඇඟලුම් අපනයන ආදායම 25%කින් අඩු වී ඇති අතර ඉදිරි කාලයේ එය තව දුරටත් පහත වැටෙනු ඇතැයි සඳහන් කළ ධම්මික ප්‍රනාන්දු මහතා එස් වැට්ක්‍රමය අහෝසි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් ලෙස ආණ්ඩුව හුවා දැක්වුවද එය බදු ආදායම වැඩි කර ගැනීම සඳහා ආණ්ඩුවේ අවශ්‍යතාව මත සිදුකරන්නක් බවට එම අරමුදලේ නියෝජිතයන් අපනයනකරුවන්ට පවසා ඇතැයි වැඩිදුරටත් සඳහන් කළේය.