2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

වගා හානි ගෙවීම කටින් පමණයි!

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

I යසවර්ධන රුද්රිගූ

ආණ්ඩුව මෙවර වගා හානි වූ වී ගොවීන්ට අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි ගෙවන බව පොරොන්දු වුවත් තවම කිසිම දිස්ත්‍රික්කයක ගොවියකුට රුපියලක් හෝ වන්දි ගෙවා නැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දේශයට කීය.

ඔහු වැඩිදුරටත් දේශයට පැවසුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වන්දි ගෙවන බවට පොරොන්දු වී දැනට මාසයක් පමණ ගත වී ඇති නමුත් කිසිවක් සිදුවී නොමැති බවය. මෙයට පෙර ආණ්ඩුව ක්‍රියාකර ඇති අන්දම ගැන සැලකූ විට වන්දි ගෙවන කතාව බොරුවක් විය හැකි බවට සැක කළ හැකි යැයි ඔහු අවධාරණය කළේය.

සේනා දළඹු උවදුර සඳහා වන්දි ගෙවන බවට ආණ්ඩුව වූ පොරොන්දුව බොරුවක් වී ඇති අතර, මොණරාගලට පමණක් වන්දි වශයෙන් රුපියල් කෝටි 16ක් ගෙවිය යුතුව ඇතැයි ඔහු කියයි. එසේම මෙයට පෙර ලබාගෙන ඇති බීජ ලොකු ලූනු කිලෝ 10,000කටද අර්තාපල් කිලෝ 20,44,000කටද අමාත්‍යංශය හරිහැටි මුදල් ගෙවා නැති බව ජාතික සංවිධායකවරයා පෙන්වා දෙයි. ඒ නිසා මෙවරද වන්දි නොලැබෙන බවට ගොවියන් සැක කිරීම සාධාරණ බව ඔහුගේ අදහසය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා ප්‍රකාශ කළේ නියඟය නිසා රට පුරා කුඹුරු අක්කර 50,000කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර වගා හානිවලට ගෙවන්නට ඇති වැඩිම මුදල මෙවර ගෙවීමට සිදුව ඇති බවය. එම විශාල මුදල කෙසේ සොයාගන්නට හැකිවේ යැයි තමාට සිතාගන්නටවත් බැරි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

 

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01