දේශපාලන වාර්තාකරු I
මාතර නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති 'ලවණ බාධකය' (නගරය දෙසට නිල්වලා ගඟෙන් ලුණු වතුර ඇතුළුවීම වැළැක්වීමේ බාධකය) හේතුවෙන් හටගත් මහා ගංවතුර නිසා මාතර අවට කුඹුරු අක්කර 2500ක් පමණ සහමුලින්ම විනාශයට පත්ව ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දේශයට පැවසීය.
ගොයම් කැපීමට ආසන්නව තිබුණු කෝමංගොඩ යාය, කඩවැද්දුව යාය ඇතුළු ඇතුළු විශාල කුඹුරු යාය 11ක් මේ නිසා ගංවතුරින් හානියට පත්ව ඇතැයිද කතානායකවරයා සඳහන් කළේය.
මාතර නගරයට පානීය ජලය සපයන පොම්පාගාරයට ලුණු වතුර ඇතුළුවීම වැළැක්වීමට ජල සම්පාදන මණ්ඩලය මගින් රුපියල් කෝටි 300ක් (මිලියන 3000) වැය කර මෙම ලවණ බාධකය ඉදිකර තිබේ. එහෙත් ප්‍රදේශයට මේ දිනවල වැටෙන අධික වැසි හේතුවෙන් නිල්වලා ගඟ පිරී ඇත. ලවණ බාධකය නිසා එම ජලය බැස යා නොහැකි බැවින් ගංවතුර හටගෙන ඇතැයි කී කතානායකවරයා මේ නිසා දහස් ගණනක ගොවිජන පිරිසක් අනාථ වී ඇතැයිද සඳහන් කළේය.
එබැවින් මේ විනාශය වැළැක්වීම සඳහා වහාම දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරුවරයා යෝජනා කර ඇති පරිදි ලවණ බාධකයේ ජලය බැස යන දොරටු පුළුල් කොට ප්‍රදේශවාසී ගොවි ජනතාවගේ අර්බුදයට වහා විසඳුම් ලබාදිය යුතු බව කතානායකවරයා අවධාරණය කළේය.