දේශපාලන වාර්තාකරු I
ණය බරින් සහ අයහපත් දේශගුණික බලපෑම්වලින් පීඩාවට පත් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවගේ ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය සහ ජල සම්පාදනය අර්බුදයට ලක්ව ඇත.
පසුගිය වසරේ හටගත් ආර්ථිකමය අර්බුදයෙන් ගොඩ ඒමට එම තත්ත්වය ප්‍රබල බාධකයක් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අමතා සිය දේශනය පවත්වමින් අවධාරණය කළේය.
කෙසේ වෙතත් ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව සැමට සාමය හා සෞභාග්‍ය සහතික කරමින් තිරසර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට තමන් කැපවන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
දේශගුණික විපර්යාස හා වසංගත වැනි තත්ත්වයන්ද ශ්‍රී ලංකාව බඳු කුඩා ණයගැති රටවල ඉදිරි ගමනට බාධාවකි. ඒ අතර ලෝකයේ හටගෙන ඇති විවිධ බල ගැටුම් ආර්ථික අවිනිශ්චිත තත්ත්වයට හේතුවකි. ඒ නිසා ආහාර සැපයුම සහ බලශක්ති සැපයුම සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයන් හටගෙන ඇත. එසේ වුවද ශ්‍රී ලංකාව 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරයි. ඒ සඳහා රටේ වන ආවරණය 32% කින් ඉහළ නැංවීමටත් 2040 වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ගල්අඟුරු භාවිතයෙන් ඉවත් වීමටත් අපේක්ෂා කරන වගත් ජනාධිපතිවරයා සිය දේශනයේදී වැඩිදුරටත් සඳහන් කළේය.