දේශයට මුල්වරට කියයි
දේශපාලන වාර්තාකරු I
තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවත් එහෙත් එලෙස ජනපතිවරණ සටනට පිවිසෙන්නේ සමස්ත ඡන්දවලින් 51%ක් ලබාගත හැකි බවට විශ්වාසය තහවුරු වුවහොත් පමණක් බවත් දිවයිනේ සුප්‍රකට ව්‍යාපාර සමාගම් අධිපතිවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා දේශයට පැවසීය. ඔහු මෙලෙස සඳහන් කළේ ඉදිරි ජනපතිවරණය සඳහා ධම්මික පෙරේරා මහතා ඉදිරිපත්වන බවට පැතිරයන ප්‍රචාර සම්බන්ධයෙන් දේශය කළ විමසුමකට පිළිතුරු ලෙසය.
මේ ගැන වැඩිදුරටත් කරුණු දැක්වූ ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළේ තමන්ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බහුතර පක්ෂ එකඟතාවක් ඇතිවුවහොත් එය ස්වකීය මැතිවරණ සටනට විශාල ජවයක් වන බවයි.
ඔහු ජනපතිවරණ සටනට පිවිසෙන්නේ කවර පක්ෂයකින්දැයි කළ විමසුමකට පිළිතුරු දුන් හෙතෙම කියා සිටියේ තමන් දැනටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බව පමණි.
ඔහු විසින් ආරම්භ කරන ලද ඩී.පී. එඩියුකේෂන් අධ්‍යාපන වැඩසටහන් මාලාව දියත් කළේ මෙම දේශපාලන ව්‍යාපෘතියේ පියවරක් ලෙසදැයි දේශය ප්‍රශ්න කළවිට ඔහු පැවසුවේ මෙරට තරුණ ප්‍රජාව දැනුමින් සන්නද්ධ කොට ඔවුන්ට ආර්ථික අවස්ථා උදාකරදීමේ අරමුණින් ඩී.පී. එඩියුකේෂන් ඇරඹූ වගය. ඩී.පී. එඩියුකේෂන් පාසල් අධ්‍යාපන වැඩසටහන යටතේ ලංකාවේ පවුල් ලක්ෂ 55න් පවුල් ලක්ෂ 11ක දරුවන් ලක්ෂ 15ක් පමණ දැනට අධ්‍යාපනය හදාරති. මෙම වැඩසටහනේම දිගුවක් වන ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් තුළින් තවත් වසර දෙකකින් මෙම සංඛ්‍යාව ලක්ෂ 16 ½ දක්වා ඉහළ නංවන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් 18ක පමණ අධිපතිවරයා ලෙස කලකට පෙර කටයුතු කළ පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියට පත්වූ අවස්ථාවේ එම සමාගම්වල දැරූ සියලු තනතුරුවලින් ඉවත් වූ බවද සඳහන් කළේය.