2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ඡන්ද ක්‍රමයේ හදිසි වෙනසක්: කැබිනට් පත්‍රිකාවක් එයි!

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04 407

දේශපාලන වාර්තාකරු I

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. රජය වෙනුවෙන් එම කැබිනට් පත්‍රිකාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසිනි.

 

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160ක් ඍජු ලෙසට ජනතාව විසින් ඡන්ද කොට්ඨාස මට්ටමින් තෝරාගත යුතුය. ඉතිරි සංඛ්‍යාව වන මන්ත්‍රීන් 65 දෙනා ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතික ක්‍රමයට තෝරා ගැනීම පිණිස විධිවිධාන සැලැස්විය යුතු බව සඳහන්ය. ඒ සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට රජය අපේක්ෂා කරන බැවින් ඊට අනුමැතිය ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යොමුකළ කැබිනට් පත්‍රිකාවෙහි සඳහන්ය.

දැනට පවත්නා ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225ක් වන අතර ඉන් 196 දෙනෙක් සමානුපාතික ක්‍රමයට දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගැනෙති. සෙසු මන්ත්‍රීන් 29 දෙනා ඒ ඒ පක්ෂ ලබන ඡන්දවල අනුපාතය අනුව අදාළ පක්ෂවලින් තෝරා ගනු ලබති. කෙසේ වෙතත් නව ව්‍යවස්ථා සංශෝධනය සිදුකළහොත් මැතිවරණ සීමා නීර්ණය කොමිසමක් මගින් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයක් සිදුකොට ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතුය.