2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ණයවර ලිපි නැතිව වාහන ගෙන්වන්නෝ අමාරුවේ

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 44

I යසවර්ධන රුද්රිගූ

රටේ උද්ගත වූ මූල්‍ය අර්බුදය හේතුවෙන් වසර තුනක් පැවති ආනයන තහනම ඉවත් කරමින් රජය පසුගියදා වාණිජ වාහන ආනයනය කිරීමට අවසර දුන්නද වාණිජ බැංකු මගින් ණයවර ලිපි නිකුත් කරවා ගත නොහැකිවීමෙන් තමන් අමාරුවේ වැටී සිටින බවට ආනයනකරුවෝ පැමිණිලි කරති. 

රජය නිවේදනය කළේ සැප්තැම්බර් මාසයේ සිට වාණිජ වාහන, ඉදිකිරීම් වාහන සහ විදුලි වාහන ආනයනය කිරීමට අවසර ලැබෙන බවය. බස්, ට්‍රක් හා ටැංකි වාහන මේ අනුව ආනයනය කළ හැකිවේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ පවසන්නේ ණයවර ලිපි ඉල්ලා සිටින විට තමන්ට ණයවර ලිපි නිකුත් නොකරන ලෙස ආනයන පාලක උපදෙස් දී ඇති බව වාණිජ බැංකු දැනුම් දුන් බවයි. එසේම එම සංගමය පවසන්නේ මුලදී වසර පහක් පැරණි වාහන පමණක් ගෙන්වීමට අවසර දුන්නද මේ වනවිට වසර 10ක් දක්වා පැරණි වාහන ගෙන්වීමට අවසර දී ඇති බවකි. මෙම වාහන ගෙන්වන අවස්ථාවේ මිල අඩු වුවද ඇතැම් විට කිලෝමීටර් ලක්ෂ 10කටත් වැඩියෙන් ධාවනය කර ඇති මෙම වාහන නඩත්තු කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවද වාර්තා වෙයි.