2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

සෙනසුරාදා සිට වැස්ස නවතීවි

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

කුසුම්සිරි විජයවර්ධන I

පසුගිය දිනවල අධික වැස්සෙන් හා ගංවතුරෙන් පීඩා විඳි බස්නාහිර, සබරගමුව සහ දකුණ යන පළාත්වලට 07දා සිට වැස්ස අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා දේශයට පැවසීය. 

එසේ වුවත් පසුගිය කාලයේ ඉඩෝරයෙන් පීඩා විඳි අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික් ඇතුළත් වියළි කලාපයට තවමත් ඉඳහිට ඇතිවන මඳ වැසි හැරෙන්නට වැසි සමය උදාවී නැති බවත් ඔහු සඳහන් කළේය. 

මේ නිසා වැව්වල ජලය අඩුවීමෙන් ගොවීන් තවමත් පීඩාවට පත්ව සිටින අතර කාලගුණ විද්‍යාඥ ජනක ප්‍රකාශ කරන්නේ ඔක්තෝබර් මැද වනවිට වියළි කලාපයට අන්තර් මෝසම් වර්ෂාව බලාපොරොත්තු වන බවයි. කෙසේ වුවත් පසුගිය කාලයේ ජල හිඟයෙන් ගොවිතැන් පාළුවීමෙන් විශාල කතාබහකට ලක්වූ උඩවලව ජලාශයෙන් දියවර ලබන වියළි කලාපයට අයත් වලවේ නිම්නයට මේ වනවිට වැසි ඇද හැලෙන අතර මේ නිසා ගොවීහු අස්වැසිල්ලක් ලබා සිටිති.