2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

දොස්තරලාගේ සේවා දිගුවට තරුණ දොස්තරලාගේ විරෝධය

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 45

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාI

විශ්‍රම යෑමට නියමිත වෛද්‍යවරුන්ගේ සේවා කාලය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දිගින් දිගටම දීර්ඝ කිරීම හේතුවෙන් කලකිරීමට පත්වන දුෂ්කර ප්‍රදේශයන්හි රෝහල්වල සේවයේ නිරත තරුණ වෛද්‍යවරුන් සේවය අත්හැර යන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

කොළඹ  හා වෙනත් ප්‍රධාන නගරයන්හි රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට ඇති පහසුකම් දුෂ්කර පළාත්වල සේවය කරන වෛද්‍යවරුන්ට නොමැත. කොළඹ හා ප්‍රධාන නගරයන්හි රෝහල්වල දැනට සේවය කරන විශ්‍රාම යා යුතු වෙද්‍යවරුන්ට සේවා දිගු ලබාදීමෙන් දුෂ්කර පළාත්වල සේවය කරන වෛද්‍යවරුන්ට එම රෝහල්වල සේවය කිරීමට අවස්ථාව අහිමි වේ. එහෙයින් කලකිරීමට පත් තරුණ වෛද්‍යවරුන් විදෙස් රටවල සේවය සඳහා යෑමට කටයුතු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමක් පවතින බවද ඔහු සඳහන් කරයි.  

මේ වන විට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට වෛද්‍යවරුන්ට සේවා දිගු ලබාදෙන අතර ඉදිරියේ එය අවුරුදු 65 වන තෙක් දීර්ඝ කර ගැනීමට එම වයස් සීමාවල සිටින වෛද්‍යවරුන් උත්සාහ කරමින් සිටින බවද ඔහු සඳහන් කරයි. මින් ඉහත ද 60ට වැඩි වෛද්‍යවරුන්ට සේවා දිගු ලබා දී ඇති නමුදු ඒ ස්ථිර සේවයේ නොව කොන්ත්‍රාත් පදනම යටතේය. සේවා දිගු ලබාගන්නා වෛද්‍යවරුන් සේවය සඳහා ඉල්ලා සිටින්නේ කොළඹ, මහනුවර, අනුරාධපුර වැනි ප්‍රධාන පෙළේ රෝහල්වලටය. එහි යටි අරමුණ  ඔවුනට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම බවද එසේ වීමෙන් දුෂ්කර පළාත්වල සේවය කරන වෛද්‍යවරුන්ට කොළඹ හෝ ප්‍රධාන නගරවල රෝහලක සේවය කිරීමට අවස්ථාව අහිමිවන බවද වෛද්‍ය බෙල්ලන සඳහන් කරයි.