දේශපාලන වාර්තාකරු I
හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පක්ෂ මාරු කිරීම නීතිවිරෝධී බව තහවුරු කරමින් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව නිසා පසුගිය කාලයේ ඍජුවම පක්ෂ මාරු කළ මැති ඇමැතින් 25 දෙනකුගේ තනතුරු අනතුරේ වැටී ඇතැයි දේශයට වාර්තා වෙයි. මෙලෙස ඍජුවම පක්ෂ මාරු කළ මන්ත්‍රීන්ට අමතරව තවත් මන්ත්‍රීන් 18ක් පමණ පක්ෂ මාරු කර ඇති නමුත් ඔවුන් නියෝජනය කරන පක්ෂ විවිධ අවබෝධතා ගිවිසුම් යටතේ ආණ්ඩුවට එක්ව සිටි බැවින් ඒ අයට මෙම තීන්දුව අදාළ නොවන බව නීති අංශ පවසයි.
පාර්ලිමේන්තුවෙන් අප වෙත ලැබුණු වාර්තා අනුව පසුගිය මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මැතිසබයට පත්වූ මන්ත්‍රීන් 35 දෙනකු පක්ෂ මාරු කර හෝ ස්වාධීන මන්ත්‍රීන් ලෙස සභාවේ කටයුතු කරන බව සඳහන්ය. ඒ අය අතර යට කී ලෙස අවබෝධතා ගිවිසුම් යටතේ පොදුජන පෙරමුණට එක්වූ පිරිසක්ද වෙති. සෙසු මන්ත්‍රීන් විපක්ෂයේ වෙනත් පක්ෂ නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වූ අයයි. මේ අය අතර කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවක් ද වෙති.
කෙසේ හෝ නසීර් අහමඩ් නඩු තීන්දුව පූර්වාදර්ශයක් කරගෙන සිය පක්ෂයෙන් මන්ත්‍රී ධූර ලබාගෙන දැනට වෙනත් පක්ෂවලට සම්බන්ධව සිටින මන්ත්‍රීන් සම්බන්ධව කඩිනමින් විනය පියවර ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා දේශයට පැවසීය. ඒ සඳහා විශේෂ නීතිඥ මණ්ඩලයක් පත්කරන ලද බවත් ඔහු සඳහන් කළේය.