රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරුI
දෙදින නිල චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සිය සංචාරයේ දෙවැනි දිනයේ සියලු නිල කටයුතු අවලංගු කර හදිසියේම නැවතත් ඉන්දියාවට පිටත්ව ගොස් ඇත. කොළඹ පැවති ''අයෝරා'' (IORA) ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට මෙරටට පැමිණි හෙතෙම අඟහරුවාදා සවස ජනාධිපතිවරයා මුණගැසුණි. ඒ අවස්ථාවේ දෙරට අතර ගිවිසුම් ගණනාවකට අත්සන් තැබීමද සිදුවූ බව වාර්තා වෙයි.
අනතුරුව ජනාධිපතිවරයා සමඟ වෙනම විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ආන්දෝලනයට ලක්වූ චීන පර්යේෂණ නෞකාවේ ශ්‍රී ලංකා ගමන ගැන සිය රජයේ විරෝධය ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ගේ ඉදිරි චීන නිල චාරිකාවේදී මෙම නැවට අදාළ ප්‍රශ්නය සාකච්ඡා කර විසඳාගන්නා බවයි. අඟහරුවාදා සන්ධ්‍යාවේ ආචාර්ය ජයශංකර් මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඔහුගේ නිල නිවසට පැමිණ පැය 1 ½ක් පමණ සාකච්ඡා කළේය. එහිදී රටේ දේශපාලන තත්ත්වය ගැන මෙන්ම අනාගත ජනාධිපතිවරණය හා ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳවද තොරතුරු විමසූ බව දැනගන්නට තිබේ. ඒ අවස්ථාවට පොහොට්ටුව මහලේකම් සාගර කාරියවසම් මහතා ද සහභාගි විය.
පසුදා ඔහු තවත් දේශපාලන සාකච්ඡා ගණනාවකට වේලාව ලබා දී තිබිණි. ඒවා අවසානයේ ත්‍රිමලයේ යෝජිත ආර්ථික කලාප භූමියට ගොස් එය නිරීක්ෂණයට නියමිත විය. එහෙත් හදිසියේම දෙවැනි දින සියලු නිල කටයුතු අවලංගු කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා කරුණු දැක්වීමකින් තොරව නැවත බදාදා උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ඉන්දියාවට ගිය පසු ඔහුට එරට ඉහළම පෙළේ ප්‍රභූවරුන්ට ලබාදෙන අධි ආරක්ෂක රුකවරණයක් ලබා දී ඇති බවද නවදිල්ලි ආරංචි මාර්ග කියයි.