ඊශ්‍රායල් පලස්තීන යුද්ධය
ව්‍යාපාරික වාර්තාකරු I
ඊශ්‍රායල් - පලස්තීන යුද්ධය උග්‍රවීමත් සමඟ යුරෝපයෙන් නැව් මගින් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවල හා මෙරටින් නැව් මගින් යුරෝපයට යවන භාණ්ඩවල මිල ගණන් විශාල ලෙස ඉහළ යමින් පවතින බව ජාත්‍යන්තර වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. යුරෝපය හා පෙරදිග යා කෙරෙන සූවස් ඇළ මාර්ගය ඔස්සේ ගමන් කරන නැව්වලින් ආනයන අපනයන සිදුකිරීමේදී ජාත්‍යන්තර රක්ෂණ ආයතන විශේෂ අවදානම් ගාස්තුවක් පැනවීම නිසා මෙම තත්ත්වය හටගෙන තිබේ.
මෙරට ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවල නියුතු සමාගම් ප්‍රධානියකු දේශයට සඳහන් කළේ ඇතැම් රක්ෂණ සමාගම් විශාල ලෙස අවදානම් රක්ෂණ ගාස්තු ඉහළ නැංවීමක් කර ඇති බවයි. ඒ අතර සූවස් ඇළ පාලන අධිකාරිය නිකුත් කර ඇති නිල නිවේදනයක සඳහන් වන්නේ සූවස් ඇළ හරහා ගමන් ගන්නා නැව්වල ගාස්තු ද 5% සිට 15% දක්වා ඉහළ දමන බවය. ඉන්ධන, ගෑස් සහ වාහන ප්‍රවාහන නෞකාවලට 15% ක ගාස්තු ඉහළ දැමීමක්ද සෙසු භාණ්ඩ ප්‍රවාහන නැව් සඳහා 5% ක ගාස්තු ඉහළ දැමීමක්ද නිවේදනය කර තිබේ. රක්ෂණ සමාගම් අවදානම් ගාස්තු ඉහළ දමා ඇත්තේ මෙයට අමතරවය.
ඒ අතර ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරන්නේ යුද්ධය තවත් බරපතළ වුවහොත් සූවස් ඇළ මාර්ගයෙන් කෙරෙන ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිරවීමටත් ඊශ්‍රායල් ගුවන් කලාපය වසා දැමීමත් සිදුවිය හැකි බවය. එසේ වුවහොත් ආසියානු රටවල ආනයනික භාණ්ඩ මිල ගණන් තවත් ඉහළ යා හැකි බවට තොරතුරු වාර්තා වෙයි.